2017 අවුරුද්දේ අවසන් දිනය

2017 අවුරුද්දේ අවසන් දින 31 රාත්‍රියේ මම බණ්ඩාරවෙල සිට කොළඹට පැමිණීමට දෙවන පන්තියේ ජනේලය ආසන්නයේ ටිකට් පතක් වෙන්කරගෙන, දුම්රිය පැමිණෙන තුරු බලා සිටියෙමි. නිවාඩු දිනයක් වුවත් දුම්රිය ස්ථානය නම් කාර්යබහුල ස්ථානයක් විය. රැගෙන යාමට පාර්සල් විශාල ගණනක් විය. දුම්රිය සේවකයින් යුහුසුළුව වැඩ කරන අයුරු මම උනන්දුවෙන් බලා සිටියෙමි. ටික වේලාවකින් රාත්‍රී තැපැල් දුම්රිය පැමිණෙන බව නිවේදනය විය. මම සතුටින් නැගිට ඇය පැමිණෙන සැටි බලා ගැනීම පිණිස වේදිකාව අසලටම ගියේය.

ටික වේලාවකින්, අංක M6 789 එන්ජිම ඉතා ආඩම්බර ලෙසින් පැමිණ වේදිකාවේ නතර විය. මගේ ටිකට් පතේ සඳහන් අංකය වෙත ගොස් මම වාඩිවී ජනෙල් කවුළුව ඇරියෙමි. සඳ එළියෙන් අවට පරිසරය ඉතා අලංකාර ලෙස දර්ශනය විය. කෙමෙන් කෙමෙන්, දුම්රිය ජීවිත දහසකගේ වගකීම් දරමින් සීත කඳුකරය වෙත තරණය කරන්නට විය. නමුත් ටික වේලාවකින් අධික වැස්සක් සහ මීදුමක් පතිත වන්නට විය. අකමැත්තෙන් හෝ මට නැවත ජනේලය වසන්නට විය. දුම්රිය දියතලාව හා හපුතලේ වෙන පැමිණෙන විටත් වැස්ස නතර වී තිබුණේ නැත.

පැයකට පසු ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය වෙත පැමිණෙන විට වාසනාවට වැස්ස නතර වී තිබුණේය. මීදුමද එවිට පහවී තිබුනේය. මම සතුටින් නැවත ජනේලය ඇරියෙමි. සෙමින් සෙමින් ඉදල්ගස්හින්නෙන් නික්ම, දුම්රිය ඝන වනාත්තරයට ඇතුල් විය. මෙතැනදී මම ජීවිතයේ දුටු ඉතා අලංකාර ගමනක් විය. දකුණු පස ජනේලය සිටින විට, ඔහියට පැමිණෙන තුරු තිබෙන්නේ කිසිම ගෙයක්, ගොඩනැගිල්ලක් නැති ඉතාම ඈතට පෙනෙන පාළු වනාත්තරයකි. නමුත් එදින සඳ එළියට නැහැවෙන විට, එම වනාත්තරය මා දුටු සුන්දරම වනාත්තරය විය. දුම්රිය ගමනේ M6 එන්ජිමටම ආවේනික සුන්දර රිද්මයත් සමග එම වනාත්තරය දකින විට සිත තුල ඇතිවූ එම චමත්කාරය වචන වලින් විස්තර කළ නොහැක. පට්ටිපොළට පැමිණෙන තුරු මග දෙපස ඉතා අමුතු ලෙස අලංකාර වී තිබුණේය. දහවල් දිනයක දකිනවාට වඩා අමුතු සුන්දරත්වයක් රාත්‍රියේදී දැකිය හැකි බවයි මගේ විශ්වාසය.

මා මේවන විට දුම්රිය ගමන් 100කට අධික සංඛ්‍යාවක් ගමන් කර ඇත. නමුත් මා එදින ලැබූ දුම්රිය ගමන, මා දැනට ලැබූ සුන්දරම දුම්රිය ගමන විය. 2017 අවුරුද්දේ අන්තිම රාත්‍රිය මම ඉතාම සතුටින් නිම කලේ එලෙසයි.